මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ වනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103 කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබුණා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු අදියර කිහිපයක් යටතේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරිණි.
ඒ අනුව පළමුව අඹේවෙල සිට බදුල්ල දක්වාත්, කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය ආරම්භ කෙරුණා.
මේ වන විට නානුඔය සිට බදුල්ල දක්වාත්, නාවලපිටිය සිට හැටන් දක්වාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වනවා.
අද දිනයේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය ද යළි ආරම්භ කිරීමට නියමිතයි.
පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් පේරාදෙණිය සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොවෙන බවයි දුම්රිය දෙපාර්තමෙන්තුව සදහන් කළේ .
අධික වැසි තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම අභියෝගයක් වී ඇති අතර, එම කටයුතු අවසන් කිරීමෙන් පසු මහනුවර සහ මාතලේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර, ගම්පොළ - නාවලපිටිය සහ හැටන් - නානුඔය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.
මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ සියයට 75ක පමණ කොටසක දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ .
ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සාමාන්‍ය දුම්රිය කාලසටහන අද පස්වරුවේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර, නගරාන්තර දුම්රිය ද ඇතුළුව දිනකට දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි .




