නාගරික රථවාහන තදබදය අවම කරමින් වඩාත් පහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, හදුන්වා දුන් මෙට්‍රෝ බස් රථ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් නව මෙට්‍රෝ බස් රථ 112 ක් අද සිට පොදු ප්‍රවාහනයට එක් කෙරෙනවා. එම උත්සවය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව අද සිට බස්නාහිර පළාතේ මාර්ග 07ක් ඔස්සේ ධාවනය කෙරෙන සමස්ථ බස් රථ සංඛ්‍යාව 122ක් වන බවයි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා පැවසුවේ.
"අපි ඇත්තටම අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් තමා පාරවල් ටික විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම පාරවල් පහක අපි මේ ඔපරේෂන් එක පටන් ගන්නවා. මිලේනියම් සිටි එකේ ඉඳලා කොළඹ ෆෝට් වලට අලුත් පාරක් ඕපන් කරනවා. ඒ වගේම කැස්බෑවේ ඉඳලා පිටකොටුවට අලුතෙන් පාරක් අපි ඕපන් කරනවා. පානදුරේ ඉඳලා දෙමටගොඩ රේල්වේ ස්ටේෂන් එකට අලුතෙන් පාරක් ඕපන් කරනවා. බත්තරමුල්ලට අලුතෙන් පාරක් ඕපන් කරනවා. ඒ වගේම අපි සර්කියුලර් රෝඩ් එකක් කොළඹ වටේට අලුතෙන් පාරක් ඕපන් කරනවා. ඒ ඒ පාරවල් පහ තමා අපේ අලුත් පාරවල් පහ. එතකොට අපි පරණ පාරවල් දෙකත් එක්ක පාරවල් හතක ධාවන කටයුතු ආරම්භ කරනවා. දැන් අපි අලුතෙන් ගෙනල්ලා තියෙනවා බස් 104ක්. ඒත් එක්කම අපිට ජපන් රජයෙන් සම්පූර්ණ ආධාර වශයෙන් ලැබිලා තියෙනවා තව බස් අටක්. ඒ ඔක්කොම මුළු බස් රථ ඇණිය 122ක් වෙලා තියෙනවා.අපි ලෝකයේ පස්සෙන් ඉන්නේ. මේවා ලෝකයේ තිබ්බේ මීට ඉස්සෙල්ලා. අපේ මේ නව රජය යටතේ, ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති වලට අනුව අපි අපේ ජනතාවටත් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන, අපේ තරුණ ජනතාවටත් ඒ පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට, තරුණ ජනතාව තමා ඇත්තටම මේකට වැඩියෙන්ම ඇබ්බැහි වෙලා තියෙන්නේ. අපි මේ නව තාක්ෂණය තමා උපයෝගී කරගෙන මේ සියලුම පහසුකම් සපයලා දීලා තියෙන්නේ නව තාක්ෂණය, බස් රථයට. අපේ සාමාන්‍ය ධාවනය පාන්දර අපි පහට, පහමාර වෙද්දී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවට කාලසටහන් ඔක්කොම හදලා තියෙන්නේ. අපි ඒ කාලසටහන් ප්‍රසිද්ධ කරනවා."




