රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඔහු එම බන්ධනාගාරයේ ‘එන්’ වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

නෙවිල් වන්නිආරච්චි ඇතුළු රැඳවියන් 11 දෙනෙකු එම වාට්ටුවේ රඳවා සිටිනවා.

විවිධ චෝදනා යටතේ අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන රජයේ සේවකයින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව රඳවනු ලබන්නේ ‘එන්’ වාට්ටුවේ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව එම වාට්ටුවේ පොලිස් නිලධාරින් සහ සුරාබදු නිලධාරින් සමග නෙවිල් වන්නිආරච්චි මහතා රඳවා සිටිනවා.

නෙවිල් වන්නිආරච්චි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ඊයේ පස්වරු 06ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව ඊයේ රාත්‍රියේ වෛද්‍යවරයෙකු විසින් ඔහු පරික්ෂා කිරීමට ද නියමිතව තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට වූ චෝදනාව යටතේයි.

ඒ අනුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේ.