මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන විකෘති මනස හේතුවෙන් 2025 වසර තුළදී පමණක් පුද්ගලයින් 175 දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස දිවි හානිකරගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළදීද මත්ද්‍රව්‍ය ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
එවන් පසුබිමක් තුළ තම දූ දරුවන්ගේ කතාබහ, හැසිරීම සහ ඇසුරු කරන පිරිස් පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙසටද මව්පියන්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළා.
"මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය නිසා 2025 වසරේදී 175 දෙනෙක්, පිරිමි 172 ක්, ස්ත්‍රීන් 3 දෙනෙක් සිය දිවි හානිකර ගන්නට කටයුතු කරලා තියෙනවා 2025 වසරේදී. මේ මත්ද්‍රව්‍ය වලින් ඇතිවූ කුරිරු මනස, විකෘති වී මනස හේතුවෙන් ජීවිතය නැති කරගත් 175 දෙනෙක් ගැන ඉතාමත් කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ඒ වගේම 2026 වසරේදී මේ වන විට 11 දෙනෙක් මිය පරලොව ගිහිල්ලා තියෙනවා, විශේෂයෙන් මේ මත්කුඩු ව්‍යසනය හේතුවෙන්.
ඒ නිසා අපි අම්මලා, තාත්තලාට, වැඩිහිටියන්ට, දෙමව්පියන්ට නැවතත් මතක් කරනවා ඔබගේ දුවගේ, පුතාගේ කතාබහේ වෙනසක්, හැසිරීමේ වෙනසක්, යන එන ගමන් බිමන් පිළිබඳව ඔබ අවධානයෙන් යොමු කරන්න. විශේෂයෙන් මෙහි වින්දිතයෙකු එහෙමත් නැත්නම් ගොදුරක් හැටියට ඔබ පත් නොවීය යුතුයි කියන පණිවිඩය අපි සමාජගත කරන්නට අවශ්‍යයි.
මේවා කළු ව්‍යාපාරයක්, මේවා ජාලගත අපරාධ, මේවා මුදල් පසුපස හමායන එකිනෙකා පරයා යමින් මුදල් හම්බ කරගැනීම සඳහා කරනු ලබන ව්‍යාපාර හැටියට අපි හඳුන්වා දී තියෙනවා. ඒ නිසා අපි තරුණ තරුණියන්, විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා ඔබගේ දුවා දරුවන්ගේ, තරුණ දුව, පුතා පිළිබඳව වඩා අවබෝධයෙන්, අවධානයෙන් සිටිය යුතුයි කියලා."
මේ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2025 ඔක්තෝබර් 30 වෙනිදා සිට ළමුන් 9,105 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසුවේ.
"2025 ඔක්තොම්බර් 30 වෙනි දින සිට ළමුන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා, මුළු අත්අඩංගුවට ගැනීම් 9105 ක්. මින් පුරුෂ ළමුන්, පිරිමි ළමුන් 8932 ක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම ගැහැණු ළමුන් 173 ක් ලෙස සඳහන් වෙනවා."




