හිස්වැසුම් නොමැතිව අනාරක්ෂිත ලෙස යතුරු පැදියක තවත් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගිය පැදිකාරිණිය ලෙස කටයුතු කළ තරුණියක් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
තරුණියන් තිදෙනෙකු එලෙස අනාරක්ෂිත ලෙස යතුරුපැදියක ගමන් ගත් වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
ඒ අනුවයි බුත්තල පොලීසිය මගින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව එම යතුරු පැදියෙහි ලියාපදිංචි අයිතිකාරිය වන පැදිකාරිය සහ පසුපස ගමන් ගත් අනෙක් තරුණියන් දෙදෙනා හදුනාගත් බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.
යතුරු පැදිය පැද වූ වයස අවුරුදු 23ක් වන තරුණියට වලංගු රියදුරු බලපත්රයක්ද නොමැති බවට විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදිය ධාවනය, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියේ දෙදෙනෙකු රැගෙන යාම, වැඩිපුර මගීන් රැගෙන යාම, අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.
එමෙන්ම යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකාරිය ද, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු සේවයේ යෙදවීම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




