තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයේ දශක ගණනාවක ‘ද්‍රවිඩ පක්ෂ’ ඒකාධිකාරය බිඳ දමමින් සුපිරි නළු විජේගේ TVK පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇතත්, රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.
තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් අද විජේ හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ, රජයක් පිහිටුවීමට ආරාධනා කිරීමට පෙර මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ සහය ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි.
ආසන 234කින් සමන්විත තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ තනි විශාලතම පක්ෂය ලෙස විජේගේ TVK පක්ෂය ආසන 108ක් දිනා ගැනීමට සමත් වුණා.
එහෙත් බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන ගණන 118ක්.
ආසන 5ක් දිනූ කොංග්රස් පක්ෂය දැනටමත් විජේට සහය පළ කිරීමට තීරණය කර අවසන්.
කොංග්රස් පක්ෂය පවසන්නේ මෙම සන්ධානය 'සමාජ සාධාරණත්වය සහ ලෞකිකවාදය' මත පදනම් වූවක් බවයි.
විජේගේ සහ රාහුල් ගාන්ධි අතර ඇති කරගත් එකඟතාවයකට අනුව, ඉදිරි පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහාද මෙම සහයෝගීතාව ක්‍රියාත්මක වනු ඇති.
විජේගේ රජයක් යටතේ කොංග්රස් පක්ෂයට අමාත්‍ය ධුර දෙකක් හිමිවීමට නියමිත බවද වාර්තා වනවා.
මේ අතර, පවතින දේශපාලන අස්ථාවරත්වය තුල සිදු විය හැකි අකටයුතුකම් වැලැක්වීමේ අරමුණින් විශේෂ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.
ඒ අනුව ආණ්ඩුකාර මන්දිරය, TVK ප්‍රධාන කාර්යාලය සහ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ නිවාස අසල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර සමාජ මාධ්‍ය නිරීක්ෂණ ඒකකයක්ද ක්‍රියාත්මක බව එහි සදහන්.



