ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන දැවැන්ත ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් තවදුරටත් දැඩි මෙහෙයුමක නිරත වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා.
ලැව්ගිනි හේතුවෙන් මේ වන විට දෙරටේම පුද්ගලයින් 330,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අට ලක්ෂ පනස්දහසක පමණ ජනගහනයක් වෙසෙන ප්‍රංශයේ නිරිතදිග පිහිටි, බොඩෝ නගරයට කිලෝමීටර් 15ක් තරම් ආසන්නයට ලැව් ගිනි පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
මෙම තත්ත්වය පාලනය කිරීම අතිශය අභියෝගාත්මක මෙහෙයුමක් බව ප්‍රංශ ගිනි නිවන භටයන් පවසා තිබෙනවා.
ප්‍රංශයේ ජිරොන්ඩ් කලාපයේ ඇති වූ ගින්න හේතුවෙන්, ස්වාභාවික සුළං සහ විදුලි කෙටීම් මගින් තවදුරටත් වර්ධනය වන භයානක ගිනි කුණාටු තත්ත්වයක් ද නිර්මාණය වී තිබෙනවා.
පවතින හදිසි තත්ත්වය හමුවේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අමාත්‍යවරුන් සමග විශේෂ හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ස්පාඤ්ඤයේ නැගෙනහිර වෙරළබඩ පිහිටි වැලෙන්සියා නගරයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 15,000 කට ආසන්න පිරිසකට නිවාස අත්හැර පලා යාමට සිදුවී තිබෙනවා.
ඉදිරියේදී වඩාත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් පවසා ඇත්තේ.




