පාකිස්ථානයේ පෙෂාවර් සිට ස්වාට් බලප්‍රදේශය වෙත පැමිණි කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමේ බරපතල චෝදනාව මත සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු රහීම්අබාද් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විපතට පත් කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු රහීම්අබාද් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් සැකකරුවන් හඳුනාගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා හෝටල් කාමරයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති අතර, ඒ පිළිබඳව කිසිවෙකුට නොකියන ලෙස මරණීය තර්ජන ද එල්ල කර ඇත.

ස්වාට් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා මෙම අපරාධය සිදුකර ඇත්තේ රාජකාරි වේලාවෙන් පරිබාහිරව බවයි.

ඔවුන්ට එරෙහිව මුල් තොරතුරු වාර්තාවක් (FIR) ලියාපදිංචි කර දෙපාර්තමේන්තුමය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, චෝදනා තහවුරු වුවහොත් දැඩි නීතිමය සහ දෙපාර්තමේන්තුමය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.