මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවට සමගි ජන බලවේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අධිකාරිය පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පසුගියදා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ එම අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් අදාළ මුදල 2023 වසරේදී ගෙවීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට, වැරදීමකින් යළි ගෙවා ඇති බවයි.

එමෙන්ම නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශයක් සිදුකර ඇති බව අදාල නිවේදනයෙන් එම මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.