ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ අයතුල්ලා අලි කමේනිගේ පුත් මුජ්තබා කමෙයිනි වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බව විදෙස් වාර්තා අද අනාවරණය කලා.

පුටින් එහිදි යළිත් අවධාරණය කර ඇත්තේ ඉරානය මුහුණ දී සිටින සන්නද්ධ ගැටුම් හමුවේ රුසියාව සැමවිටම ඉරානයේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස සිටින බවයි.

තම පියා ආරම්භ කළ කාර්යයන් මුජ්තබා කමෙයිනි විසින් ගෞරවනීය ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇතැයි සදහන්.

මේ අතර, ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන හේතු දැක්වීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විටින්විට වෙනස් කරන අයුරු දක්නය ලැබෙන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඔහු දැන් ඉරානයේ න්‍යෂ්ටික තර්ජනයක් පිළිබද යළි කතා කිරීම ආරම්භ කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඉරානය සතු 60%ක ප්‍රමාණයට පිරිපහදු කළ යුරේනියම් න්‍යෂ්ටික ඉන්ධන තොගය අත්පත් කරගැනීම සඳහා විශේෂ හමුදා බලකායක් යෙදවීම පිළිබඳව සලකා බලන බවත් ජනපති ට්‍රම්ප් වරෙක ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් නවතම ජනමත සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ 2024 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කළ අමෙරිකානුවන් පවා වන් ප්‍රහාර අනුමත කළත්, ගොඩබිම් හමුදා යෙදවීම අනුමත නොකරන බවයි.

කෙසේවෙතත් ඉරානයේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුකිරීම අමෙරිකාව මෙන්ම ඊශ්‍රායලයත් අපේක්ෂා කරන බැවින් අවශ්‍ය වුවහොත් ඉරානයට ගොඩබිම් හමුදා යෙදවීමට සිදුවන බව ජනපති ට්‍රම්ප් පවසා ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය අද සඳහන් කළේ.

මේ අතර, ඉරානයේ මිනාබ් නුවර බාලිකා පාසලකට එල්ලවූ ප්‍රහාරයකින් එහි ගැහැණු දරුවන් 168 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම භාරගැනීම ජනපති ට්‍රම්ප් මෙන්ම අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ද ප්‍රතික්ෂේප කල බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එය එසේ තිබියදී ඉරාන අගනුවර වන ටෙහෙරානයේ දැඩි පිපිරීම් හඬක් අදත් ඇසුණු බව විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර අනාවරණය කලා. ටෙහෙරානයේ ජනතාව පවසා ඇත්තේ ”වෙනසක් සඳහා ඇති සිහින්ම අවස්ථා පවා තවදුරටත් ඉතිරිව නොමැති” බවයි.

මේ අතර ඉරාන ඩ්‍රෝන් ප්‍රහාරයකින් බහරේනයේ, පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසා තිබෙනවා.