ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ තෙල් අර්බුදය සහ සැපයුම් දාම බිඳවැටීම් මධ්‍යයේ, ඉන්දියාවට අවශ්‍ය තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුම ස්ථාවර ලෙස ඉහළ නැංවීමට තම බලශක්ති සමාගම්වලට හැකියාව ඇති බව රුසියාව සහතික වී තිබේ.

එසේම, ඉන්දියාවේ පොහොර අවශ්‍යතා සඳහාද අඛණ්ඩව සහයෝගය දක්වන බව රුසියාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

දෙදින ඉන්දීය සංචාරයක නිරත වූ රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩෙනිස් මැන්ටුරොව් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී පොහොර සැපයුම පිළිබඳව සාකච්ඡා කළේය.

ඔහු විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමුවූ අතර, එහිදී ඔවුන් ඉන්දියාවට අඛණ්ඩව බලශක්ති සැපයීම පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම ඉහළ මට්ටමේ රුසියානු සංචාරය, ඉන්දියාව විසින් සත්කාරකත්වය සපයනු ලබන ඉදිරි බ්‍රික්ස් (BRICS) සමුළුව සහ මෙම වසරේදී රුසියාවේ පැවැත්වීමට නියමිත ඉන්දියා-රුසියානු වාර්ෂික සමුළුවට පෙර දෙපාර්ශවය විසින් සිදු කරනු ලබන සූදානමක කොටසක් ලෙස සැලකේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ මැන්ටුරොව් බටහිර ආසියාවේ පවතින ගැටුම් ඇතුළු කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවයි.