බංග්ලාදේශයේ ඩකා නගරය පුරා ස්ථාන කිහිපයක ඉකුත් දා ඇති වූ ගිනි තැබීම් සහ බොරතෙල් බෝම්බ ප්‍රහාර රැල්ලක් හමුවේ අගනුවර ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන් සීරුවෙන් සිටින බව වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඉකුත් සඳුදා දවස පුරා ස්ථාන 11 කට බොරතෙල් බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර, බස් රථ තුනක් ගිනි තබා ඇති අතර, ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පොළඹවා ඇති බවයි.
කෙසේවෙතත් ගිනි තැබීමේ සිදුවීම්වලින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනාට එරෙහි නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව දිනය නියම කිරීමට නියමිත නොවැම්බර් 13 වන දිනට පෙර පොලිස් මූලස්ථානය ඩකාහි සියලුම පොලිස් ස්ථාන වෙත මුර සංචාර සහ නිරීක්ෂණ තීව්ර කරන ලෙස උපදෙස් දුන්නේය.
රට පුරා ප්‍රධාන ස්ථාන සහ ආගමික ආයතන වටා ආරක්ෂාව ද ශක්තිමත් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රධාන උපදේශකගේ මාධ්‍ය අංශය පැවසුවේ ඩකා මෙට්‍රොපොලිටන් පොලිසිය සහ ක්ෂණික ක්‍රියාකාරී බලඇණිය ප්‍රහාරවලට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා නගරය පුරා මෙහෙයුමක් දියත් කර ඇති බවයි. ජාතියේ ආගමික සහජීවනය කඩාකප්පල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් නීතියේ සම්පූර්ණ බලයෙන් සපුරාලන බවට ද එය අනතුරු ඇඟවීය.




