පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් ආසන්නයේ ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම පකිස්ථාන තලෙයිබාන් හෙවත්  TTP සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.

එම සංවිධානය පවසා ඇත්තේ සිය සටන්කාමියෙකු විසින් ඉස්ලාමාබාද් අධිකරණ කොමිසමට පහර දුන් බවයි.

පාකිස්ථානයේ ඉස්ලාමීය නොවන නීති යටතේ තීන්දු ක්‍රියාත්මක කළ විනිසුරුවරුන්, නීතිඥයින් සහ නිලධාරීන් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බවද පාකිස්ථාන තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පාකිස්ථානය තුළ ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වන තුරු තවත් ප්‍රහාර එල්ල කරන බවටද එම සංවිධානය තර්ජනය කර තිබෙනවා.

ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයා පොලිසියට අයත් වාහනයක් ආසන්නයේදී ඔහු රැගෙන ආ පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැරීමෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර තිබූ බව පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පවසා තිබෙනවා.

පාකිස්තානයෙන් මෑත කාලීනව අවසන් වරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා වී ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මාසයේදීයි.

ඊයේ එල්ල වූ එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබුණා.