එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට පෙර තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව පාකිස්තාන රජය ලජ්ජාසහගත මර්දනයක් දියත් කර ඇති බව සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ වැඩිමහල් පුත් සුලෙයිමාන් ඛාන් පවසයි.

29 හැවිරිදි සුලෙයිමාන් ඛාන් බටහිර ආණ්ඩුවලින් ඉල්ලා සිටින්නේ පාකිස්තානය පාලනය කරන පාලකයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්නා ලෙසයි.

එළඹෙන ඉරිදා පැවැත්වෙන විරෝධතාවට පෙර පවුලේ සාමාජිකයන් බියවැද්දීමේ අරමුණින් තම පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය විසින් එළඹෙන ඉරිදා අගනුවර වන ඉස්ලාමාබාද් වෙත දැවැන්ත පාගමනක් කැඳවා ඇති අතර, එම විරෝධතාව දින කිහිපයක් පුරා පවත්වාගෙන යාමට සූදානම් බව එම පක්ෂයේ නිලධාරීන් පවසා ඇත.

කෙසේ වෙතත්, මෙම පාගමන වැළැක්වීමට බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, අගනුවර වීදි බහාලුම් යොදා වසා දැමීමටත්, විශාල පිරිසකට හානි සිදුවන හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානම් වන ලෙස ප්‍රදේශයේ රෝහල්වලට උපදෙස් ලබා දීමටත් පියවර ගෙන තිබේ.

මෙම විරෝධතාවයට පෙර ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය ඇතුළු පාකිස්තානයේ සිටින ඥාතීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගත් පියවර ද ඔහුගේ පුතුන් විසින් දැඩි ලෙස විවේචනය කර ඇත. මීට අමතරව PTI පක්ෂයේ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් රැසක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

"කිසිදු හේතුවක් දැක්වීමකින් තොරව මධ්‍යම රාත්‍රියේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු අපගේ පවුලේ සාමාජිකයන් පැහැරගෙන යාම මුළුමනින්ම ලජ්ජාසහගත ක්‍රියාවක්. මෙය ෆැසිස්ට් පාලනයක් බවට තවත් පැහැදිලි සාක්ෂියක්," යනුවෙන් ඔහු පවසයි.

ඉදිරි ඉරිදා සැලසුම් කර ඇති පාගමනට පෙර, මහජන සාමය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය දක්වමින් බලධාරීන් විසින් පසුවූ දිනවලදී ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනෙකු සහ පක්ෂ ක්‍රියාකාරීන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත.