ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග රට තුළ පවතින බව ප්‍රකාශ කර තිබියදී ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවේ මන්දැයි ජනතාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය පියවර ගත්තා.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හමුවේ පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් මේ වනවිට කොළඹදී සාකච්ඡාවක නිරත වනවා.
බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුකළ යුතු දැයි මෙහිදී සිය නියෝජිතයින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නොදමන බව නෙත් නිවුස් කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණා.
ඒ අනුව එහි නව මිල රුපියල් 303 ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353 ක් වනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 24 කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 317 ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 365 ක්.
මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 13 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 195 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමුණා.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බවටයි වාර්තා වුණේ.
2022 වසරෙන් පසු පළමු වරට බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබුණා.
තෙල් මිල ඉහළ යාමත් සමඟ ආසියාවේ, දකුණු කොරියාවේ සහ ලන්ඩනයේ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ තියුණු ලෙස පහත වැටුණා.
කෙසේ වෙතත් බොරතෙල් බැරලයක මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මිල වැඩිවීම ”කෙටි කාලීන” බවත් එය ලෝක සාමය සඳහා ”ගෙවිය යුතු ඉතා කුඩා මිලක්” බවයි.
එවන් පසුබිමක් තුළ ආසියානු වෙළඳපොළ තුළ අද උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 8.5 කින් පමණ පහළ වැටී ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 92.50 ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම අමෙරිකානු වෙළඳපොළේ ද බොරතෙල් මිල සියයට 9 කින් පමණ පහළ ගොස් තිබෙනවා.
එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.60 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
බොරතෙල් මිල මෙලෙස පහළ වැටී ඇත්තේ “යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට“ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයත් සමඟ බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.




