ඉතා ප්‍රබල ‘ඔර්නබ්‘ සුළිකුණාටුව හෙට පෙරවරු කාලයේදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යානාම් වෙරළ තීරයන් හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළිකුණාටුව ගොඩබිමට ඇතුළු වන අවස්ථාවේදී පැයට කිලෝමීටර් 115 ත් 125 ත් අතර පැතිරුණු වේගයකින් සුළං හමා යා හැකි බවත් පසුව එය පැයට කිලෝමීටර් 140 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

මේ හේතුවෙන් ජීවිත හානි සහ දේපළ හානි අවම කරගැනීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ඔඩිෂා සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල හෙට දිනයේ පාසල් වසා දැමීමටත්, මුහුදු යාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත් එරට බලධාරින් තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම සහන සැලසීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම්ද සූදානම් කර තිබෙනවා.

මේ අතර නවදිල්ලි නුවර රැස්වූ ජාතික ආපදා කළමනාකරණ කමිටුව මගින් පවතින තත්ත්වය පිළිබඳව සමාලෝචනය කර ඇති අතර, ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ඇතුළු ප්‍රාන්ත කිහිපයකට මෙන්ම උත්තර ප්‍රදේශ් සහ බිහාර් ප්‍රදේශවලටද දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

‘ඔර්නබ්‘ සූළි කුණාටුව හේතුවෙන් කිසිදු ජීවිත හානියක් නොවීමට සහ යටිතල පහසුකම්වලට සිදුවන හානිය අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජාතික ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේදී උපදෙස් ලබාදී තිබෙනවා.

යම් හානියක් සිදුවුවහොත් අත්‍යවශ්‍ය සේවාවන් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමටද එහිදි උපදෙස් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට ගොඩබිම් සහ නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙන්ම ජාතික ආපදා ප්‍රතිචාර බලකායහි සහන කණ්ඩායම්, නෞකා සහ ගුවන් යානා සූදානම් කර තිබෙනවා.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මේ වන විටත් මුහුදේ සිටි ධීවර යාත්‍රා බොහොමයක් ආරක්ෂිතව වෙරළට කැඳවා ඇති අතර, ඉතිරි යාත්‍රාවලටද වහාම ආපසු පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ආපදා සහන කටයුතු සදහා ප්‍රාන්ත රජය විසින් ඉන්දීය රුපියල් කෝටි 27ක මුදලක් දිස්ත්‍රික් 20ක් අතර බෙදා හැර තිබෙනවා.

එමෙන්ම ආන්ද්‍රා ප්‍රදේශ්හි හඳුනාගත් ගැබිනි මව්වරුන් 4,711 දෙනෙකු ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.