මැල්සිරිපුර, පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ගමන් කරමින් සිටි ඩක්කුව කඩා වැටීමට හේතුව එම ඩක්කුවේ කේබල එතෙන කොටසක ඇණයක් කැඩී යාම බවට පොලිසිය සැක පළ කරනවා. අදාල අනතුර සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් ද ලබාගන්නා බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව රස පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අනතුර සිදු වූ ස්ථානයට අද පැමිණ අවශ්‍ය තොරතුරු ලබාගත් බවද පොලිසිය පැවසුවා. භික්ෂූන් වහන්සේ 13 නමක් ගමන් කරමින් සිටියදී එම ඩක්කුව ඊයේ රාත්‍රියේ කඩාවැටී තිබුණා. අනතුරෙන් භික්ෂූන් වහන්සේ හත්නමක් අපවත් වුණා. ඒ අතර විදේශීය භික්ෂූන් වහන්සේ තුන්නමක් ද වනවා. එම භික්ෂූන් වහන්සේලා තුන්නම රුමේනියාව, රුසියාව සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ. අපවත් වූ විදේශීය භික්ෂූන් වහන්සේ තුන්නමගේ ආදාහන පූජෝත්සව මෙරටදී සිදු කිරීමට ඉල්ලීමක් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අනතුරින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ හය නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර එම අනතුරින් අපවත් වූ දෙස්-විදෙස් භික්ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම අනතුරින් තුවාල ලැබ රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.