ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ අරමුණින්, සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙලේ මූලික පියවර ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමඟ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සේවා ප්‍රමාදයන් අවම කිරීම සහ නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනා ගත් බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යශය නිවේදනය කළේ.

රාජ්‍ය සේවය පුද්ගලයන් මත පදනම් වූ ක්‍රමවේදයකින් නවීන සේවා සැපයුම් ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ද එහිදි සාකච්ඡාව කර තිබෙනවා.

විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තාක්ෂණික භීතිය අවම කරමින් ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම එම වැඩ පිළිවෙළේ ප්‍රමුඛතාවක් වනවා.

ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයන් පුහුණු කිරීම සඳහා ඊ- ඉගෙනුම් පද්ධතියක් භාවිත කිරීමටත්, ජංගම දුරකථන හරහා ලබාගත හැකි කෙටි වීඩියෝ පාඩම් මාලා මගින් ක්ෂුද්‍ර-ඉගෙනුම් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් අවධානය යොමුවි තිබෙනවා.