තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේගේ TVK පක්ෂය ලබාගත් ජයග්‍රහණය තමිල්නාඩු එල්ටීටීඊ හිතවාදී දේශපාලනයේ පරාජයක් බව සමාජ ක්‍රියාකාරික අරුන් සිද්ධාර්ථන් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ කච්චති දූපත සම්බන්ධයෙන් තලපති විජේ ආන්දෝළනාත්මක අදහසක් ඉදිරිපත් කල ද ඔහු ශ්‍රී ලංනාව සම්බන්ධයෙන් බෙදුම්වාදී අදහස් ඉදිරිපත් නොකල බවයි.
තමිල්නාඩු දේශපාලන බල පෙරළිය මෙරට දේශපාලනයට ඇති කල හැකි බලපෑම සම්බන්ධයෙන් නෙත් නිව්ස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේ ලැබූ ජයග්‍රහණය යාපනය ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයකදී සමරා තිබෙනවා.
දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් දැවැන්ත ජයක් ලබා ගත්තේ ආසන 108ක් දිනා ගනිමින්.
ඒ, දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දමමින්.
මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව තිබෙනවා. AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් වුණා.
TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතුයි. TVK පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වනවා.
විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත් එන්.ටී. රාමාරාඕගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවයි පැවසෙන්නේ.
TVK පක්ෂයේ ජයග්‍රහණයට ප්‍රධානම සහ තීරණාත්මක සාධකය වූයේ විජේගේ පෞද්ගලික ජනප්‍රියත්වය වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.




