දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01න් පමණ පසුවද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතරින් සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි අපේක්‍ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

දිවයින වටා වන මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කෙරුණා.

ඇදහැලෙන මහ වැසි හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 06ක් සහ අංගමු ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.

මේ අතර දිස්ත්‍රික්ක 11කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගනිමින් එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ.

අනතුරුදායක ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.