පොළොන්නරුවේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද අලුයම 4:00 ට පමණ පිපිරීමක් සිදුව තිබෙනවා.
එහිදී පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් පොළොන්නරුව නියෝජිත රොෂාන් තුෂාර පැවසුවේ.
තුවාල ලැබූවන් අතර බරපතල තත්ත්වයෙන් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
ඉන් එක් අයෙකුගේ සිරුර සම්පූර්ණයෙන්ම පාහේ පිළිස්සී ඇති බවත් තවත් අයෙකුගේ අතක් වෙන්වී ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසුවා.
පිපිරීමත් සමඟ හටගත් අවදානම් තත්ත්වය හේතුවෙන් අංක 01, 02, 03, 05 සහ 06 යන වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 150 ක් පමණ වහාම රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගෙන තිබෙනවා.
අද දිනයේ පොළොන්නරුව ශ්‍රී ලංකා ජාතික වකුගඩු රෝහලේ රුධිර කාන්දුකරණ කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් හැකි පමණින් නිවෙස් වෙත පිටත් කර හැරීමටත්, සෙසු රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමටත් පියවර ගත් බව ජාතික වකුගඩු රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සමරසිංහ මහත්මිය පැවසුවා.
මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




