බේරුවල, මග්ගොන දියලගොඩ ප්‍රදේශයෙන් එක්දින ධීවර යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා දියඹට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට අකුණු සැර වැදී තිබෙනවා.

අකුණුසැර වැදුනු පුද්ගලයින් දෙදෙනා අසල තිබූ වෙනත් බෝට්ටුවක සිටි පිරිසක් විසින් ගොඩබිමට රැගෙනවිත් බේරුවල රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්.