අයිස් මත්ද්‍රව්‍ය සහ ආයුධ රැසක් සමග පුද්ගලයෙකු කොහුවල, නාලන්දා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිවසක් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 31 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී ටි-56 වර්ගයේ පතොරම් 26ක්, කඩුවක් සහ මන්නයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මෙම ආයුධ සහ මත්ද්‍රව්‍ය ඔහු වෙත ලැබුණු ආකාරය පිළිබඳව කොහුවල පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනවා.

මේ අතර කඩවත, රන්මුතුගල පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක සහ 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කළ විමර්ශනයකට අනුවයි.

එම සිද්ධි සම්බන්ධයෙන් කොහුවල සහ කඩවත පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.