අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියේගෝ නුවර ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන නව යොවුන් වියේ පසුවන තරුණයන් දෙදෙනෙකු ද පසුව වෙඩි තබාගෙන දිවි හානිකර ගෙන ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ.
BBC ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කරන පරිදී, මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ සැන් ඩියේගෝ හි පිහිටි විශාලතම ඉස්ලාම් දේවස්ථානයක් වන "ඉස්ලාමික් සෙන්ටර්" (Islamic Center of San Diego) පරිශ්‍රයේදීයි.
මෙම වෙඩි තැබීම වෛරී අපරාධයක් (Hate Crime) ලෙස සලකා ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI ආයතනය මගින් ඒ පිළිබද පුළුල් පරීක්ෂණ ආරම්භ කළ බව සැන් ඩියේගෝ පොලිස් ප්‍රධානී ස්කොට් වෝල් (Scott Wahl) කියා සිටියා.
මේ වනවිට අනාවරණ වී ඇති පරිදී උදෑසන, සැකකාර තරුණයෙකුගේ මවකගෙන් පොලිසියට ඇමතුමක් ලැබී තිබෙනවා.
ඇය පවසා ඇත්තේ තමාගේ 17 හැවිරිදි පුත්‍රයා නිවසේ තිබූ ගිනිඅවි කිහිපයක් සහ මෝටර් රථය ද රැගෙන, තවත් යහලුවෙකු සමග නිවසින් පලාගිය බවයි.
ඔවුන් දෙදෙනාම හමුදා ඇඳුම්වලට සමාන (Camouflage) ඇඳුම් ඇඳ සිටි බවත්, තම පුතා දිවි හානිකර ගැනීමේ අවදානමක පසුවන බවත් ඇය පවසා තිබෙනවා.
මෙම ඇමතුමෙන් පසු පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඇති අතර ඔවුන් මවගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින්, අදාළ මෝටර් රථය ලුහුබඳිමින් සිටි අවස්ථාවේදීමයි දේවස්ථානය අසලින් වෙඩි තැබීමේ ශබ්ද ඇසී ඇත්තේ.
ඒ වන විට සැකකරුවන් ලුහුබැද ගිය පොලිස් නිලධාරීන් සිට ඇත්තේ දේවස්ථානයට වීදි කිහිපයක් මෙපිටින්.
වෙඩි හඩ ශ්‍රවණය වීමත් සමග පොලිස් නිලධාරීන් දේවස්ථාන පරිශ්‍රයට ළඟා වී තිබෙනවා.
එහිදී දේවස්ථානය ඉදිරිපිට වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයන් තුන්දෙනෙකුගේ සිරුරු පොලිසියට හමු වී තිබෙන බවයි BBC වාර්තාවේ දැක්වෙන්නේ.
මියගිය අය අතර දේවස්ථානයේ සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු ද වනවා.
ඔහු දරුවන් අටදෙනෙකුගේ පියෙකු බවයි CBS ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කරන්නේ.
මේ පිළිබද අදහස් දක්වමින් සැන් ඩියේගෝ පොලිස් ප්‍රධානීයා පවසන්නේ, මෙම ආරක්ෂක නිලධාරියා තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කිරීම නිසා ප්‍රහාරකයින්ට දේවස්ථානය ඇතුළට යාමට නොහැකි වී ඇති බවයි.
ඔහුගේ වීරෝදාර ක්‍රියාව නිසා තවත් විශාල පිරිසකගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බව ද සැන් ඩියේගෝ පොලිස් ප්‍රධානීයා කියා සිටියා.
පොලිස් නිලධාරීන් දේවස්ථානය තුළට ඇතුළු වී එහි සිටි පිරිස් මුදාගනිමින් සිටින අතරතුර, ඉන් මීටර් කිහිපයක් දුරින් තවත් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි පැවසෙන්නේ.
පලායමින් සිටි ප්‍රහාරකයන් දෙදෙනා මාර්ගයේ වැඩ කරමින් සිටි භූමි අලංකරණ ශිල්පියෙකුට (Landscaper) මෝටර් රථයේ සිටම මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රහාරයට ඉලක්ක වූ භූමි අලංකරණ ශිල්පියාට මෙයින් අනතුරක් සිදුව නැහැ.
තවත් කෙටි වේලාවකට පසු, දේවස්ථානයට නුදුරු ස්ථානයක නවතා තිබූ මෝටර් රථය තුළ ප්‍රහාරයට පැමිණි 17 සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනා වෙඩි තබාගෙන මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
සිද්ධිය වන අවස්ථාවේ දේවස්ථාන පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබන "අල් රෂීඩ්" ආගමික පාසලේ දරුවන් විශාල පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිට ඇති බව ද සදහන්.
වෙඩි තැබීමත් සමග අවට ඇති අනෙකුත් පාසල් ද වහාම වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. දරුවන් පාසල් වලින් ඉවත් කරගැනුනේද දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.
සිද්ධිය ඇසින් දුටුවෙකු බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ ස්වයංක්‍රීය ගිනිඅවියකින් නිකුත් වූයේ යැයි සැකකළ හැකි වෙඩි ශබ්ද 30 කට ආසන්න ප්‍රගණනක් තමාට ඇසුණු බවයි.
ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ "ඊද් අල්-අද්හා" නොහොත් හජ් උත්සවයට දින කිහිපයක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
"මෙය සිකුරාදා දිනයක සිදු වූවා නම් මීට වඩා විශාල පිරිසක් දේවස්ථානයේ රැස්ව සිටින බැවින් විනාශය මීට වඩා දරුණු විය හැකිව තිබුණා" යැයි සිද්ධිය දුටු තවත් අයෙකු පවසා තිබෙනවා.
මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි කනගාටුව සහ කෝපය පළ කරන සැන් ඩියේගෝ ඉස්ලාමීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉමාම් තාහා හසාන් (Imam Taha Hassane) ප්‍රකාශ කළේ, ආගමික වතාවත් සිදුකරන මෙවැනි පූජනීය ස්ථාන යුද පිටි බවට පත්කර නොගත යුතු බවයි.
කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) ද මේ පිළිබද නිවේදනයක් නිකුතු කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ, දරුවන් සහ පවුල්වල සාමාජිකයන් සාමකාමීව රැස්වන ස්ථානයකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තමා දැඩි සේ කම්පනයට පත්වූ බවයි.
කිසිදු ආගමික ප්‍රජාවකට එරෙහිව සිදුකෙරෙන මෙවැනි ත්‍රස්තවාදී හෝ බියගැන්වීමේ ක්‍රියා තම ප්‍රාන්තය තුළ කිසිසේත්ම ඉවසන්නේ නැති බව ද ඔහු අවධාරණය කළා.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ධවල මන්දිරයේ පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මෙය ඉතාම භයානක තත්ත්වයක් බවත්, මේ පිළිබඳව රජය දැඩි අවධානයකින් පසුවන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති වුවත්, සැකකරු ලියා තබා තිබූ සටහනක ආගමික සහ ජාතිවාදී වෛරී සහගත ප්‍රකාශ (Hate Speech) අඩංගු වී තිබීම සැලකිල්ලට ගනිමිනුයි මෙය සැලසුම්සහගත වෛරී අපරාධයක් ලෙස සලකා FBI ආයතනය ඉදිරි විමර්ශන සිදුකරන්නේ.




