වනවාසල සහ කැළණිය දුම්රිය ස්ථාන අතරදී සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් එම ස්ථානයෙන් නවතා දමා තිබූ එම මංතීරුවේ දුම්රිය ධාවනය යළි ආරම්භ කර තිබෙනවා.
අනතුර හේතුවෙන් අලාභ හානි වූ එම මංතීරුවේ පිළිසකර කිරීම් පස්වරුවේ අවසන් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව අදාළ මංතීරුවේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවනවා.
මේ අතර එම අනතුරෙන් දුම්රිය සංඥා උප දෙපාර්තමේන්තුවට පමණක් සිදුවූ අලාභය රුපියල් මිලියන දෙකකට අධික බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා පැවසුවේ.
එමෙන්ම එම අනතුරෙන් තුවාල ලැබූ මගීන්ට ඉදිරියේදී වන්දි ගෙවීමට පියවර ගන්නා බවද දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා එහිදී පැවසුවා.
පොල්ගහවෙල සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ඊයේ අලුයම වනවාසල සහ කැළණිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමකට ලක්ව එහි එක් මැදිරියක් පෙරළී ගොස් තිබුණා.
කිසියම් අයෙකු එම දුම්රිය මාර්ගයේ තිබූ ඇතැම් කොටස් ගලවා ගෙන ගොස් තිබීම හේතුවෙන් දුම්රිය අනතුර සිදුව තිබෙනවා. එම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණු අතර එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා නිසි පරිදි යළි අරඹන්නැයි ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය ඉල්ලීමක් කරනවා.
එම රාත්‍රී මුර සංචාර සේවා නිසි අයුරින් මේ වනවිට ක්‍රියාත්මක නොවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
රාත්‍රී මුර සංචාර සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බව එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා පැවසුවා.




