නෙත් ත්‍ඵ රේඩියෝව සංවිධාන කරන You're a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුර අද ආරම්භ වනවා.

ඒ මාතර, කොටපොල ජාතික පාසලේදීයි.

ජාතියේ මහා පහන් ටැඹ - ලංකා බැංකුව මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙනවා.

පාසල් දරුවන් නායකයන් ලෙස බලගැන්වීම අරමුණු කරගනිමිනුයි නෙත් FM රේඩියෝව මෙම මෙහෙයුම ආරම්භ කළේ.

ඒ යටතේ, මේ දක්වා පුහුණුව ලද අංකුර නායකයන් ගණන 5,000ට වැඩියි.

මාතර, කොටපොල ජාතික පාසලේදී ආරම්භ වන එහි 50වන කඳවුර අද සිට දින තුනක් පුරා පැවැත්වෙනවා.

මේ ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ මාතර, කොටපොල ජාතික පාසලේ විදුහල්පති මනෝජ් ජයවර්ධන මහතා
"අපේ පාසලේ දක්ශ දරුවෝ, තමන්ගේ විශේෂයෙන්ම ශිෂ්‍ය නායක මණ්ඩලය සහ වෙනත් දරුවෝ ටික දෙනෙක් තමයි මේ සඳහා අපි තෝරාගෙන තියෙන්නේ. මේ දරුවෝ මම විශ්වාස කරනවා මේ දින තුන තුළ ලබාගන්නා පරිචය, දින තුන තුළ ලබාගන්නා අත්දැකීම් සමුදාය, හෙට නායකයෝ තමයි අද මේ අපි හදන්නේ. මේ දරුවෝ ඒ ක්‍රියාකාරකම් අද මේ ඇසුරින් ලබාගන්නා නායකත්ව ගතිලක්ෂණ අපේ පාසලේ සෙසු දරුවන්ට ගෙනියන්න මේ දරුවෝ කණ්ඩායම නියාමන කණ්ඩායමක් විදිහට අපි යොදාගන්නවා. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා හැම පන්තියකම, හැම ක්ෂේත්‍රයකම, හැම අංශයකම දරුවන්ට මේ වැඩසටහන් වලින් ගන්න යම් දෙයක් හෝ ගෙනියන්න මේ දරුවෝ නායකත්වය ගනියි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම නෙත් FM ආයතනය, ලංකා බැංකුව එක්ක එකතු වෙලා අපිට මේ කරන උදව්ව, මම මේක දකින්නේ ඇත්තටම උදව්වක්... උදව්වක් නෙමෙයි මම මේකට තව වචනයක් දානවා මේක පිනක්. මේක අපි අදහන ආගම දහම අනුව අපි විශ්වාස කරනවා මේක පිනක් කියලා. ඉතින් විශේෂයෙන්ම නෙත් FM ආයතනය මේ You're a Leader වැඩසටහන ඉතාමත්ම හොඳට කරලා හොඳ නමක් මේ පාසල් පද්ධතිය තුළ දිනාගෙන තියෙනවා. ඒකට හොඳ පිළිගැනීමක් තියෙනවා. ඉතින් මේ වගේ කටයුතු වලට දායකත්වය දීලා ලංකා බැංකුව හොඳ නමක් මේ රටේ දිනාගෙන තියෙනවා. මේ ආයතන දෙකටම මේ වගේ කටයුතු සිදු කරලා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවෝ වෙනුවෙන් කරන මේ කර්තව්‍යයට, ක්‍රියාදාමයට අපේ ආශීර්වාදය මේ ආයතන දෙකටම පිරිනමන්න මම මේක අවස්ථාවක් කරගන්නවා."

පාසල් දරුවන් නායකයන් ලෙස බලගැන්වීම අරමුණු කර ගනිමින් නෙත් FM ආරම්භ කළ You're a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමට ආරම්භයේ සිටම මූල්‍ය ශක්තිය ලබා දුන්නේ ලංකා බැංකුවයි.

මෙය රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන ගෞරවනීය ආයෝජනයක් බවයි දකුණු පළාතේ ලංකා බැංකු සහකාර මහා කළමනාකරු රංජිත් රුවන් පතිරණ මහතා පැවසුවේ.

"කොටපොල ජාතික පාසලේ පැවැත්වෙන නායකත්ව සංවර්ධන වැඩසටහනට අනුග්‍රහ දැක්වීමට ලැබීම පිළිබඳව ඇත්තෙන්ම ලංකා බැංකුව විදිහට අපි ආඩම්බර වෙනවා. ඒ වගේම මෙම වැඩසටහන පාසල් ළමුන් පාදක කරගෙන, අපගේ වර්තමාන පාසල් දරුවන් අනාගත නායකයින් බවට පත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක මූලික අඩිතාලම බව මතක් කරන්න කැමතියි. ඉතින් ඒකට ලංකා බැංකුවට දායකත්වය දැක්වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වන අතරම, ලංකා බැංකුව මේ සඳහා කිසිසිම ලාභ පරමාර්ථයකින් තොරව, ලංකා බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික අරමුණුවලින් බැහැරව, අපි ළමා පරපුරට දෙන්න පුළුවන් හොඳම දේ ලබා දීමේ එක වැඩපිළිවෙලක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් මේ සඳහා ලංකා බැංකුවේ අලෙවි අංශයත්, ඒ වගේම දකුණු පළාතේ කොටපොල ශාඛාව පෙමුණ දැරි කරගෙන අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඉතින් මේ දින තුන පුරාවටම මෙම ස්ථානයේ රැඳී සිටිමින් ඒ අවශ්‍ය මූල්‍ය පහසුකම්, ඒ පිළිබඳව අපි දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයක් පවත්වන්න අපි අදහස් කරනවා. ඒ වගේම මේ සඳහා පැමිණෙන සියලු දෙනාටම ලංකා බැංකුවේ මූල්‍ය පහසුකම්, ඒ වගේම තැන්පතු ඒ ගැන සියලුම දැනුම ලබා දීමේ වැඩපිළිවෙලකුත් අපි සකස් කරලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා සියලු දෙනාටම මේ දින තුනේදී ම මේ වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න කියලා."