හර්ෂිතා සමරවික්‍රමගේ සටන්කාමී පිතිකරණය හේතුවෙන් T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ ඊයේ පැවති තරගය කඩුලු 4න් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙම තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයද මෙයයි.

පෙර තරඟ දෙකද ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස ජයගත් අතර ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමටද ඔවුන් සමත් වුණා.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ බංගලාදේශ කණ්ඩායමයි.

නියමිත පන්දුවාර 20දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තා.

ලකුණු 21ට කඩුලු 3ක් දවා ගනිමින් බංගලාදේශ පිතිකාරිනියන්ට වැඩිම පීඩනය ගෙන දුන්නේ චමුදි ප්‍රබෝධායි.

අනතුරුව ලකුණු 115ක ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් පිටියට පිවිසියා.

එහෙත් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නියන්ගෙන් ඔවුන්ට අවසර ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 44ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නියන් සමත් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් එක අන්තයකින් කඩුලු බිඳවැටෙද්දී අනෙක් අන්තයේ කඩුල්ල රැක ගනිමින් හර්ෂිතා සමරවික්‍රම ප්‍රශංසනීය පිතිහරඹයක නිරත වූ අතර ඉනිමේ තවත් පන්දු හතරක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 115 ලෙස ඔසවා තබමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කිරීමට ඇය සමත් වුණා.

නිලක්ෂිකාද සිල්වා සහ කෞෂිනී නුත්‍යාංගානාගෙන් ද ඇයට ලැබුණේ අගය කළ යුතු සහයක්.

නිලක්ෂිකාද සිල්වා ලකුණු 18ක් සහ කෞෂිනී නුත්‍යාංගානා නොදැවී ලකුණු 11 ක් ලබාගත්තා.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 37දී නොදැවී ලකුණු 48යි. 6 පහර දෙකක් සහ 4 පහර හතරක්ද ඊට ඇතුළත් වුණා.

මෙම විශිෂ්ට ඉනිම හේතුවෙන් තරඟයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තේ ද හර්ෂිකා සමරවික්‍රමයි.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් පූර්ව තරඟය ලබන 11 වනදා පැවැත්වෙනවා.