නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි අද දිනයේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.