ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් සදහා දෙපාර්ශවයම එකඟ වූ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මත මෙම එකඟතාවය ඇති වූ බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව දකුණු ලෙබනනයේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් හිස්බුල්ලා සටන්කාමීන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු වනවා.
එමෙන්ම ලෙබනනයේ අනාගතය තීරණය කළ යුත්තේ එරට ස්වෛරී රජය මිස බාහිර කණ්ඩායම් නොවන බවද ඇමරිකාව අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත්, ඇමරිකානු මැදිහත් වීමෙන් ඇති කරගත් මෙම සටන් විරාමය පිළිබඳව හිස්බුල්ලා සංවිධානය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නැහැ.
නමුත් ඔවුන්ගේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු පවසා ඇත්තේ වොෂින්ටනයේ පැවැත්වෙන සාකච්ඡා තමන් පිළි නොගන්නා බවයි.
සටන් විරාම ප්‍රකාශය නිකුත් වීමට පැය කිහිපයකට පෙරත් දෙපාර්ශවය අතර දරුණු ප්‍රහාර හුවමාරු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් නව දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය අය අතර ගිලන් රථයක සිටි සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු සහ ලෙබනන හමුදා සෙබළෙකුද වන බවයි BBC ප්රවෘත්ති සේවය පැවසුවේ.
ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙත්න්යාහු ලෙබනනයේ බීරූට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලීම ගැන තමන් දැඩි සේ කෝපයට පත් වූ බවයි.
ඒ පිළිබඳව තමන් නෙත්න්යාහුට දැඩිව අවවාද කළ බවත්, ඉන් පසු බීරූට් නුවරට ප්‍රහාර එල්ල නොකිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා.




