අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා තවදුරටත් ඉදිරියට ඇදෙන බවත්, මීට පෙර අනතුරු ඇඟවූ ආකාරයේ දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙසේවෙතත්, ඕනෑම හමුදාමය ක්‍රියාමාර්ගයකට අමෙරිකාව සූදානම් ශරීරයෙන් සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, අමෙරිකාවේ තර්ජන හමුවේ තමන් බිය නොවන බවත්, එල්ල වන කිසිදු බලපෑමකට හෝ තර්ජනයකට ඉරානය යටත් නොවන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
දෙපාර්ශ්වය අතර සාකච්ඡා සාර්ථකවීමට නම් අමෙරිකාව ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගෞරව කරමින් සිය ආකල්ප වෙනස් කරගත යුතු බවයි විදේශ අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේවෙතත් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව පවසනවා.
මේ අතර, නාබ්ලුස් නගරයට නිරිත දෙසින් සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පලස්තීන ජාතිකයන් සිවුදෙනෙකු සහ ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල හමුදාව විසින් අත්පත් කරගෙන සිටින බටහිර තීරයේ විශේෂ මෙහෙයුම් ආරම්භ කරමින් ඇඳිරි නීතිය පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




