චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත චීන දූත පිරිසක් අද දිවයිනට පැමිණ තිබෙනවා.
අද පෙරවරු 9යි 45ට පමණ යූ.එල්.- 319 දරන ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
දිවයිනට පැමිණි චීන රජයේ දූත පිරිස පිළිගැනීම සඳහා මෙරට චීන තානාපතිවරයා සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළූ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, ඇතුළු දූත පිරිස දින කෙක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.
මෙරටට පැමිණ සිටින ෂාඕ ලේජි, චීන ආණ්ඩුවේ තුන්වැනි ප්රබලතම සාමාජිකයා වනවා.









