විදුලි බල පද්ධති නවීකරණය කිරීම සහ බලශක්ති ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් රුපියල් ට්‍රිලියන 1.86 ක (ඇමරිකානු ඩොලර් බිලියන 19.42) දැවැන්ත සහනාධාර සහ ආයෝජන වැඩසටහනකට ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය තොරතුරු අමාත්‍‍යවරයා විසින් පසුගිය මේ බව අනාවරණය කළේය.

මෙම ආයෝජන සැලැස්ම යටතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඔස්සේ ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය.

එහිදී ප්‍රාන්ත අභ්‍යන්තර විදුලි සම්ප්‍රේෂණ පද්ධති වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් ට්‍රිලියන 1.36 ක් වෙන් කෙරේ.

එමගින් නව පිරිසිදු බලශක්ති ගිගාවොට් 135 ක් ජාතික විදුලි බල පද්ධතියට සාර්ථකව එකතු කිරීමට මග පෑදෙනු ඇත. සීඝ්‍රයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට සරිලන පරිදි විදුලි ජාලය පුළුල් කරගැනීමට මුහුණ දී තිබූ බාධාවලට මෙය ප්‍රධාන විසඳුමක් වනු ඇත.

එමෙන්ම දහවල් කාලයේ නිපදවෙන සූර්ය හා සුළං බලශක්තිය පසුව භාවිතය සඳහා ගබඩා කර තැබීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ගිගාවොට් පැය 50 ක ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කිරීම උදෙසා රුපියල් බිලියන 500 ක දිරිගැන්වීමේ දීමනාවක් ද වෙන් කර ඇත.

දැනට ගිගාවොට් 304 ක් ලෙස පවතින ඉන්දියාවේ ෆොසිල නොවන බලශක්ති උත්පාදන ධාරිතාව 2030 වසර වන විට ගිගාවොට් 500 සීමාව දක්වා ඉහළ නැංවීමේ දීර්ඝකාලීන ඉලක්කය සපිරීම සඳහා මෙම ආයෝජනය අතිශය තීරණාත්මක වනු ඇත.