ඉරානයේ ටෙහෙරාන් අගනුවර ජීවත් වන පුද්ගලයින්ට වහාම ඉන් ඉවත් වන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

අමෙරාකිනු ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ ඔහුගේ ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින්.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබුණේ කැනඩාවේ පැවැත්වෙන ජී 7 සමුළුවට එක්ව සිටින අතරතුරයි.

ඔහුගේ මෙම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ටෙහෙරාන් අගනුවර පිපිරීම් කිහිපයක් සහ ගුවන් ආරක්ෂක වෙඩි තැබීම් විශාල වශයෙන් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ටෙහෙරාන් නගරයෙන් පලා යන පදිංචිකරුවන් හේතුවෙන් එරට මාර්ගවල විශාල රථවාහන තදබදයක් ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම දැනුම්දීම ඉරාන ජනතාව බියට පත් කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව ඇතැම් පාර්ශව පෙන්වා දී තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයින් 220කට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

කාන්තාවන් 70ක් සහ කුඩා ළමුන්ද ඒ අතර වන බව එම වාර්තාවේ දැක්වෙනවා.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද අල්ජසීරා පුවත් සේවය වාර්තා කළා.

මේ අතර ජී 7 සමුළුවට එක්ව සිටින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එළඹුනහොත් යුරෝපීය රජයන් ඉරානය සමඟ සාකච්ජා කිරීමට සූදානම් බවයි.