නියමිත ලේබල් නොමැති වීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති පිළිකා ඖෂධ තොගය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන, රෝගීන් 75,000කගේ ජීවිත ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මසකට මෙම එන්නත් කුප්පි 25,000ක් පමණ අවශ්‍ය වන නමුත්, මේ වන විට රෝහල් පද්ධතිය තුළ මෙහි දැඩි හිඟයක් පවතින බවයි.
"හැම පිළිකා රෝගියෙකුටම අවශ්‍ය කරන ප්‍රධාන පිළිකා වෛද්‍ය ප්රතිකාරවලින් අනතුරුව රුධිරගත සුදු රුධිරාණු මට්ටම වැඩි කරන්න, එම රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා ලබා දෙන G-CSF කියලා වෛද්‍ය විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන, නැත්නම් ලංකාව ඇතුළෙ විවිධ වෙළඳ නාමයන්ගෙන් හඳුන්වන විශේෂ එන්නත අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ ශූන්‍ය තත්ත්වයට පත් වීම.අද මේ එන්නත නොමැති නිසා මාසයකට මේ එන්නත සාමාන්‍යයෙන් එන්නත් කුප්පි 25,000 ක් විතර ප්‍රමාණයක් ලංකාව තුළ භාවිත වෙනවා. ඒ කියන්නේ රෝගීන් 25,000 කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත නොමැති වීම නිසා තමන්ගේ පිළිකා රෝගී තත්ත්වයට ලබා ගන්නා වෛද්‍ය ප්‍රතිකාරවල සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරුව ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනකට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ."
ලක්ෂයකට අධික එන්නත් කුප්පි තොගයක් ආනයනය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
"ඖෂධය ලංකාවට ආවාට පස්සේ වෛද්‍ය සැපයුම් ඒකකය මෙම ඖෂධය භාර ගන්නා විට, එම ඖෂධයේ එන්නත් කුප්පියේ පිටුපස අදාළ ඖෂධයේ සම්බන්ධ වන වෙළඳ නාමයන් හෝ ඖෂධීය නාමයන් හෝ සැපයුම්කරුවන්ගේ නම් හෝ අදාළ ලේඛනගත තොරතුරු ස්ටිකරයක් විදියට නැත්නම් ලේබලයක් විදියට නොමැති බව සඳහන් කරමින් වෛද්‍ය සැපයුම් ඒකකය දැන් මෙම ඖෂධ තොග භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මෙවන විට එම ඖෂධය අදාළ සැපයුම්කරුවන් මගින් එන්නත් කුප්පි එක්ලක්ෂ හැටදහසකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කළ බව තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා ස්වකීය මාධ්‍ය සාකච්ඡාවේදී තහවුරු කළේ."
මෙම එන්නත් තොගය යළි චීනයට යවා නිසි පරිදි ඒවා ලබා ගැනීමට මාස තුනක පමණ කාලයක් ගත වනු ඇති බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසුවා.
"මේ එන්නත ලංකාව ඇතුළේ ඖෂධ නියාමන අධිකාරිය අහඹු සාම්පල පරීක්ෂා කරලා බලලා, ඒ සියලු ගුණාත්මක පරීක්ෂණවලින් සමත් වෙච්ච බව තමයි වාර්තා වෙන්නේ. දැන් මේ එන්නත් කුප්පි ටික නැවත චීනයට යවලා, මේ එන්නත් කුප්පියේ පිටුපස අදාළ කරන ලේබල් හෝ ස්ටිකර් ගහලා එවන්න අඩුම ගානේ මාස තුනකට ආසන්න කාලයක් ගත වෙන්න පුළුවන් බව වාර්තා වෙනවා. එතකොට දවස් 90 ක් කියන්නේ එක එන්නත් කුප්පියක් භාවිතා කරමින්, අපි දන්නවා එක රෝගියෙකුට ලබා දෙනවා, එතකොට මාසයකට එන්නත් කුප්පි 25,000 ක් අවශ්‍ය වෙනවා, නැවත මේ ටෙන්ඩරය කැඳවලා මේ ස්ටිකරය ගහලා ලංකාවට එන්න තවත් අඩුම ගානේ මාස තුනක් ගත වුණොත්, ඒ කියන්නේ රෝගීන් 75,000 කගේ ජීවිත අනතුරට පත් වෙනවා."




