ඇමෙරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සිදුවූ දරුණු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇමසන් එයාර්  සමාගමට අයත් බෝයින් 767-300 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී පැයට කිලෝමීටර 209 ක පමණ අධික වේගයකින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

යානය ධාවන පථයෙන් ඉවතට පැන අසල තිබූ වාහන කිහිපයක ද ගැටී ගින්නක් හටගෙන තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භටයින් 200 කට ආසන්න පිරිසක් ක්ෂණිකව යොදවා ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් ඇමසන් සමාගමේ ප්‍රකාශිකා කෙලී නැන්ටෙල් පවසා සිටියේ මියගිය පිරිසගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළකර සිටින බවයි.