”ඒහිපස්සිකෝ” සාම පා ගමන සදහා සහභාගී වීමට මෙරටට පැමිණ සිටි, ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
උන්වහන්සේ සමග ”ආලෝකා” සුනඛයා ද, සාම පාද චාරිකාව සඳහා මෙරටට පැමිණ සිටි තවත් ගිහි පිරිසක් ද දිවයිනෙන් පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උදෑසන 07.12ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 731 දරන ගුවන් යානයෙන් එම පිරිස තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් එම පිරිස ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර, ගුවන් තොටුපොළ විවිධ අංශ වල සේවයේ නිරත සේවක - සේවිකාවන් පැමිණ, භික්ෂූන්වහන්සේ වෙත නමස්කාර කල බවද නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළා.




