තිස් පන් කෝටියකට අධික වටිනාකමින් යුත්  හෂිෂ් තොගයක් දිවයිනට ගෙන ආ විදෙස් සරසවි සිසුවියක් අත්අඩංගුවට

රුපියල් තිස් පන් කෝටි විසිහය ලක්ෂ පනස් දහසක් වටිනා "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ විශේෂ පහසුකම් භාවිතා කරමින් සහ එහි පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය තරුණියක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි කැනඩාවේ, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ, හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක්.

ඇයට සිය අධ්‍යාපන කටයුතු සදහා යොදා ගැනීමට කැනේඩියානු ඩොලර් 12,500 ක් සහ විදේශ සංචාරයක් ලබා දීමේ පොරොන්දුව මත, එම විශ්ව විද්‍යාලයේ රියැදුරුවරයෙකු, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සදහා ඇය වෙත භාර දී ඇති බවයි අනාවරණවී ඇත්තේ.

ඇය එම ”හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් රැගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක  විශේෂ පහසුකම යටතේ ඇයගේ ගමන් මලු, ගමන් මලු පථෙයන් රැගෙන, ගුවන් තොටුපොළ සේවිකාවන්ගේ මග පෙන්වීම යටතේ, ගුවන් තොටුපොළ ” හරිත මාවත “ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එහිදී ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 02 ක් තුළ, පැකට් 140 ක් තුළ අසුරා, මෙම ”හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ  35 ග්‍රෑම් 265 ක ප්‍රමාණය සගවා තබා තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර සැකාර තරුණිය සහ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.