වත්මන් ආණ්ඩුව විසින් පොලිසිය දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රාජ්‍ය පාලනය ගෙන යන බවත්, එහි සෘජු බලපෑම අධිකරණ පද්ධතිය වෙත ද එල්ල වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

ගොවීන්, ධීවරයින් මෙන්ම තරුණයින්ගේ රැකියා ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම ආණ්ඩුව විසින් පැහැර හැර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එමෙන්ම, රටේ මූලික සංස්කෘතික හා දේශීය අගයන් ආරක්ෂා කරගනිමින්, නූතන ලෝකයට ගැලපෙන පරිදි නවීකරණය වූ දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ගමන් කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

"ඔබතුමාලාට දැන් අර මල්පැල 159 පාපිස්සි වගේ පෙනෙනවාද? මල්පැල 159 අරන් ආවේ වැඩිහිටියෝ, වයසක අය දැන් අයින් කරන්න ඕනේ කියලා හැමදාම. දැන් පාර්ලිමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ කට්ටිය අයින් කරලා, මෙතන තියාගන්න ඕනේ කියලා විශ්වාස කරන්නේ අයින් කරපු එක වැරදියි කියලා හිතෙන හින්දාද?

අද පැහැදිලිවම ආණ්ඩුව තමන්ගේ රාජ්‍ය පාලනය පවත්වාගෙන යන්න මේ රටේ පොලිසිය දේශපාලන තුරුම්පුවක් බවට පරිවර්තනය කරලා තියෙනවා. අපි විනිශ්චයකාරවරු ගැන සහ අධිකරණ පද්ධතිය ගැන කතා කරනවා. අධිකරණ පද්ධතියට වෙන පළවෙනිම බලපෑම සිද්ධ වෙන්නේ මේ රටේ ශ්‍රී ලංකා පොලිසියට වෙන බලපෑමෙන්. මොකද පොලිසිය දක්වන කරුණු මත තමයි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ බොහෝ අවස්ථාවල. හැබැයි පොලිසිය තමන්ගේ දේශපාලන පක්ෂයේ කොටස්කරුවෙක් බවට පත්වෙනවා නම්, පොලිසිය තමන්ගේ දේශපාලන පක්ෂයේ ශාඛාවක් විදියට හැසිරෙනවා නම්, ඒ තමන්ගේ දේශපාලන පක්ෂයේ ශාඛාව විසින් දෙන කරුණු මත තමයි අධිකරණය මෙහෙයවන්න වෙන්නේ.

අද ගොවියාගේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැහැ. ධීවරයාගේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැහැ. අද මේ රටේ තරුණයාගේ විරැකියාව පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ වගේම අපි අවංකව විශ්වාස කරනවා මේ රටේ සමහර නීති රීති, පනත් වෙනස් වෙන්න ඕනේ. පැහැදිලිවම වෙනස් වෙන්න ඕනේ. අපේ රටේ මූලික අපි විශ්වාස කරන මූලික හර පද්ධතියක් තියෙනවා. ඒ මූලික හර පද්ධතිය ආරක්ෂා කරන ගමන් අපි නවීකරණයට, නූතනත්වයට යන්න ඕනේ. ඉතින් බොහෝ වේලාවට හිතනවා නවීකරණය, නූතනත්වය කිව්වම අපි බටහිරකරණය වීමකට අනුගත වෙනවාද කියන කාරණය. නැහැ, ඒක සංස්කෘතික කාරණය ගැන නෙවෙයි මං මේ කතා කරන්නේ. හැබැයි රාජ්‍ය පාලනය සහ මේ රටේ රාජ්‍යය තුළින් රටේ ජනතාවට විය යුතු යුතුකම හා වගකීම පිළිබඳව මං කතා කරන්නේ.

ඉතින් පැහැදිලිවම අපි පක්ෂයක් විදියට ඒ නවීකරණයට සූදානම් පක්ෂයක්. ඒ නූතනත්වය කරා ගමන් කරන්න ලෑස්ති වෙලා ඉන්න දේශපාලන පක්ෂයක් සහ ඒ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන දේශපාලන බලවේගයක්. ඔබ මීට අවුරුදු පහකට කලින් දැකපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙවෙයි, ඔබ අවුරුදු පහකට කලින් දැකපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ගැබ් වෙච්ච අපේකම, දේශීයත්වය, සංස්කෘතිය, ආගම දහම සහ මේ රටේ ඒකීයත්වය කියන කාරණා ගැබ් කරගත්, ඔබේ මුනුබුරා, මිනිපිරිය 20, 35, 40, 45 වන විට බලාපොරොත්තු වෙන රට ගොඩනඟන්න පුළුවන් දේශපාලන බලවේගයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පරිවර්තනය වෙලා තියෙනවා. අපේ ඉලක්කය ඒක. අපේ බලාපොරොත්තුව ඒක. අපේ අරමුණ ඒක."