ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හත් වන දිනය අදයි.

අද දිනයේද පෙරවරු 9.00 සිට මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා.

මේ අතර අදට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වන ළමුන් සඳහා කතන්දර පොතක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා.

එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික බුවනෙක වන්නිඅච්චි මහතා පැවසුවේ ළමුන් වෙනුවෙන් අද දිනයේ සුවිශේෂි වැඩසටහන් කිහිපයක් ද ප්‍රදර්ශන භූමියේදී ක්‍රියාත්මක බවයි.

''අද ඇත්තටම දරුවන් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඒ අතර මූලික වෙන්නේ මේ පොතක් අපි ත්‍යාගයක් විදිහට දෙන එක. මේකේ මූලික පදනම තමයි අපි අලුතෙන් පාඨක ප්‍රජාවක් හදාගන්න වෙනවා. දැනට ඉන්න පාඨක ප්‍රජාව නැති වුණාට පස්සේ, අපි ළමයින්ගෙන් පටන් ගන්න ඕනේ කියලා තමයි හිතුණේ. ඒ හින්දා ළමයින්ට නිර්මාණශීලීව හිතන්න, අලුත් විදිහට හිතන්න පොඩි පොත් පිංචක් දුන්නට මේක ලොකු කොන්ටෙන්ට් (Content) එකක් තියෙන එකක්. මෙන්න මේ පොත අපි දරුවන්ට නොමිලේ ලබා දෙනවා අද ලෝක ළමා දිනය වෙනුවෙන්. ළමයින්ට එන්න පුළුවන්, කොලන් ළමයින්ට දෙනවා, වැඩිහිටියන්ටත් පුළුවන් ළමයි වෙනුවෙන් ඕක අරගෙන යන්න. මේක මගනොහැර ඉන්න අපේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා "ගොල හැදෙන මන්තරේ" සහ ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙන "The Green Drawing Magic" කියන පොතත් නොමිලේ අරගෙන යන්න. පුංචි අදහසක් තියෙන්නේ, පොතේ තියෙන්නේ අපි ගාව තියෙන සම්පත් සීමිත නම් ඒකෙන් කොහොමද අපි ප්‍රයෝජනයක් ගන්නේ? ඒ ගැන බැන බැන ඉන්නවද? අවලං කිය කිය ඉන්නවද? ඊට වඩා යමක් අපිට මේකෙන් කරන්න පුළුවන්ද? කියන එක තමයි දරුවන්ට උගන්වන්නේ. ඒ ආකල්පය මුල ඉඳන්ම පුරුදු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද මේ පොත නිර්මාණය කළේ මම. ඒ හින්දා ඒ වගකීම මට තියෙනවා.''

මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ අතර දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඩ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා.

එමෙන්ම අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් එහිදී ද විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මකයි.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමාවට පත් වන්නේ ඔක්තෝබර් මස 04 වනදායි.