ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති අද දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ඊයේ දින ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇතැයි සදහන්.

එහි සදහන්ව ඇත්තේ සියලුම සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බව ද එම ලිපිය මගින් දන්වා ඇතැයි සදහන්.

එබැවින් අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසා ඇත්තේ.

මෙම වැඩ වර්ජනය නිසා ඇතිවන සියලුම ආකාරයේ අහිතකර ප්‍රතිඵල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෝ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වග නොකියන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව භාර ගත යුතුය බවත් අදාළ වෘත්තීය සමිති එම ලිපිය මගින් දන්වා ඇතැයි සදහන්.

මේ අතර ගෙන්වූ ප්‍රමිතියෙන් තොර බාල ගල් අගුරු හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ උපරිම ධාරිතාව ලබාගත නොහැකි බව එම බලාගාරයේ ඉංජිනේරුවන් පවසනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ විධායක සභික දුලාන් සපුතන්ත්‍රි මහතා.