ඊයම් අඩංගු විස සහිත ආහාර ලබා දෙමින් ළමයින් 200 කට වැඩි පිරිසකට වස කැවීමේ චෝදනාවට වරදකරුවන් වූ චීනයේ ළදරු පාසලක හිමිකාරිනියකට සහ ඇගේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට සිරදඬුවම් නියම කර තිබේ.
චීනයේ ගන්සු පළාතේ ටියැන්ෂුයි හි පිහිටි 'හේෂි පේක්සින්' පෙර පාසල පවත්වාගෙන ගිය ලී හුයිෆැන්ග් නමැත්තියට, විස සහිත හා හානිකර ආහාර නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
2025 ජූලි මාසයේදී එහි අධ්‍යාපනය ලැබූ දරුවන් රෝගාතුර වීමත් සමඟ සිදුකළ පරීක්ෂණවලදී, එම පෙර පාසලේ සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 247 දෙනෙකුගේ රුධිරයේ අධික ලෙස ඊයම් මට්ටමක් පවතින බව අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන වාර්තාවකට අනුව හෙළි වී ඇත්තේ, වැඩි වශයෙන් ළමයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ආහාරවල පෙනුම වැඩි දියුණු කිරීමට එම පෙර පාසලේ සූපවේදීන් විසින් ආහාරයට ගැනීමට නුසුදුසු සායම් වර්ගයක් භාවිතා කර ඇති බවයි. එම සායම් වර්ගය ආහාරයට නුසුදුසු බව පැහැදිලිව සටහන් කර තිබියදීත් ඔවුන් මෙලෙස භාවිත කර ඇත.
ලැන්ෂෝ මධ්‍යම මහජන අධිකරණය විසින් මෙම සිරදඬුවමට අමතරව, ලී හුයිෆැන්ග්ගේ පෞද්ගලික දේපළවලින් යුවාන් 500,000 ක මුදලක් රාජසන්තක කිරීමට ද නියෝග කළ බව CCTV රාජ්‍ය නාලිකාව වාර්තා කළේය.
මීට අමතරව, පෙර පාසලේ විධායක විදුහල්පතිනි ෂි ජින්ලින් හට වසර 15 ක සිරදඬුවමක් සහ යුවාන් 300,000 ක දඩයක් නියම කර ඇත. පෙර පාසලේ මුළුතැන්ගෙයි සේවය කළ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකුට වසර 6 සිට 8 දක්වා වූ සිරදඬුවම් හිමිව තිබේ.
ලී සහ ෂි යන දෙදෙනාගේ උපදෙස් පරිදි, ළමුන්ට සහ කාර්ය මණ්ඩලයට පිළිගන්වන ආහාර සඳහා මෙම විස සහිත හා හානිකර ද්‍රව්‍ය එකතු කිරීමට මෙම සේවකයින් සිව්දෙනා කටයුතු කර ඇති බව අධිකරණයේදී තහවුරු විය.




