ඉන්දු-පැසිෆික් කලාපය පුරා චීනයේ වර්ධනය වන ආර්ථික හා මිලිටරි බලපෑමට එරෙහිව පියවර ගැනීම සඳහා ආරක්ෂක සහ තීරණාත්මක ඛනිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජපන් අගමැතිනී සානායි තකයිචි ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියාය.

ඒ ඇගේ ඔස්ට්‍රේලියානු සංචාරයට සමගාමීවයි.

ඇය අද කැන්බරා හිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් හමුවීමට ද නියමිතව තිබේ.

ට්‍රම්ප් පරිපාලනය සහ චීනයේ වර්ධනය වන ආක්‍රමණශීලී බව හේතුවෙන් මතුව ඇති භූ-දේශපාලනික අවිනිශ්චිතතාවය මධ්‍යයේ, ඕස්ට්‍රේලියාව සමාන අදහස් ඇති මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් සමඟ සම්බන්ධතා තහවුරු කරගැනීමේ පියවරක් ලෙස මෙය සිදුවේ.

මෙම ද්විපාර්ශ්වික හමුවේදී නායකයින් දෙපළ චීනය සහ උතුරු කොරියාව පිළිබඳව සාකච්ඡා කරනු ඇති අතර, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ බාධාවන් මධ්‍යයේ දෙරට අතර බලශක්ති සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ උත්සාහයන් පිළිබඳවද අවධානය යොමු කරනු ඇත.

ජපාන අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරය, ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර නූතන ද්විපාර්ශ්වික සබඳතාවයේ පදනම වූ නාරා (NARA) ගිවිසුමේ 50 වැනි සංවත්සරයට සමගාමීව සිදු වේ.

'AFR Weekend' පුවත්පතට ලිපියක් යොමු කරමින් ටකායිචි මහත්මිය සඳහන් කළේ ආරක්ෂක, ආර්ථික ආරක්ෂාව, වෙළඳාම, සංචාරක, අධ්‍යාපනය සහ පර්යේෂණ ඇතුළු හැකි සෑම අංශයකින්ම ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර පවතින “විශේෂ සබඳතාව” පුළුල් කිරීමට තමා කැමති බවයි.

“පසුගිය දශක පහ පුරා ජපානය සහ ඕස්ට්‍රේලියාව අපගේ මිත්‍රත්වය නොසැලී පවත්වා ගෙන ගිය අතර, අද පවතින අභියෝගාත්මක ජාත්‍යන්තර පරිසරය මධ්‍යයේ වුවද, අපගේ කලාපයේ සාමය සහ සමෘද්ධිය සඳහා ස්ථාවර බලවේග ලෙස සක්‍රීයව කටයුතු කර ඇත,” යනුවෙන් ඇය පැවසුවාය.

"මීළඟ වසර 50 පිළිබඳව ස්ථිර විශ්වාසයකින් යුතුව, ජපාන-ඕස්ට්‍රේලියා සබඳතාව තවත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට අප සතු පොදු කැපවීම මෙම සංචාරය අතරතුර අගමැති ඇල්බනීස් සමඟ යළිත් තහවුරු කිරීමට මම බලාපොරොත්තු වෙමි." යනුවෙන් ද ඇය පවසා තිබේ.