පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි තම තානාපති කාර්යාලය වසා දමන බව ෆින්ලන්තය නිවේදනය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව එළඹෙන ගිම්හාන කාලයේදී එහි මෙහෙයුම් කටයුතු නවතා දමනු ඇති.

අවසන් දිනය ප්‍රකාශයට පත් කරන තෙක් එම දූත මණ්ඩලය අඛණ්ඩව සේවයේ නිරත වනවා.

උතුරු යුරෝපීය රට වසර දහයක වසා දැමීමකින් පසු 2022 දී නැවතත් සිය තානාපති කාර්යාලය විවෘත කළ අතර, දැන් ඔවුන් එය නැවත වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ, ආරක්ෂක හේතූන් මත එහි අසල්වැසි රට වන ස්වීඩනය ද 2023 වසරේ සිට පකිස්ථානයේ පිහිටි සිය තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබීමයි.

උපායමාර්ගික සහ මෙහෙයුම් හේතූන් මත මෙම දූත මණ්ඩලය වසා දමන බව ෆින්ලන්ත තානාපති කාර්යාල ආරංචි මාර්ග ‘ද නිව්ස්‘ (The News) පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

තානාපති කාර්යාලය මගින් සීමිත කොන්සියුලර් සේවාවන් සපයන නමුත්, වීසා සහ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු බොහෝ විට අබුඩාබි වැනි අනෙකුත් ෆින්ලන්ත දූත මණ්ඩල හරහා සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ෆින්ලන්තය ”‍මෙහෙයුම් සහ උපායමාර්ගික හේතූන්”‍ මත ඇෆ්ගනිස්ථානයේ සහ මියන්මාරයේ පිහිටි සිය තානාපති කාර්යාල ද වසා දමන බව ද නිවේදනය කර තිබෙනවා.