මෙරට ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු ධීවර යාත්‍රාවක් ද සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොළොස් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙවිත් තිබෙනවා.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේ.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා ගැනීම සඳහාත් දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම සඳහාත් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබනවා.