ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන බවත්, එම ගිවිසුම් නැවත විවෘත කිරීමට, සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ඒ, කච්චතීව් දූපත සහ සමුද්‍රීය ධීවර අයිතිවාසිකම් සම්බන්ධයෙන් 1974 සහ 1976 දී ඇති කරගත් ගිවිසුම්වලට අදාළ විධිවිධානවලට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කරමින් පවතින අතරතුරයි.

ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙනී සිටිමින්, ඉන්දීය නීතිපති ආර්. වෙන්කටරමණි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වන්නේ ඉන්දීය ධීවරයින්ට අදාළ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය රජය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ස්ථාවරය පිළිගැනීමට හෝ ඊට අනුකූලව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට බල කිරීමට ඉන්දියාවට නොහැකි බව ද ඔහු පවසා ඇතැයි සදහන්.

1974 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීම සහ ඉන් පසුව 1976 දී ඇති කරගත් ගිවිසුම මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයින්ගේ ධීවර අයිතිවාසිකම් සීමා කිරීම යන කරුණු අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පාර්ශ්වයේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට පෙළඹී ඇති බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් ජාත්‍යන්තර සමුද්‍රීය සීමාව තරණය නොකිරීම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවත් ඔහු පෙන්වා දී ඇති බවයි පැවසෙන්නේ.