මුලතිව්, පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී ආර්.පී.ජී උණ්ඩයක්, මෝටාර් උණ්ඩයක් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියක් සොයාගෙන තිබෙනවා. ඒ, අදාල ඉඩමෙහි අයිතිකරු විසින් වගාවන් වෙනුවෙන් එම ඉඩම පවිත්‍ර කිරීමේදීයි. ඉඩමෙහි අයිතිකරු විසින් ඒ සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාල පුපුරණ ද්‍රව්‍ය හා කොඩිය පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය සැක පළ කරන්නේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එම පුපුරණ ද්‍රව්‍ය හා කොඩිය අදාල ඉඩමෙහි සගවන්නට ඇති බවයි. එම පුපුරණ ද්‍රව්‍ය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් නිෂ්ක්‍රිය කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.