ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පවත්වනු ලබන එල්.එල්.බී නීතිවේදී උපාධි ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටි ශිෂ්‍යාවකගේ පිළිතුරු පත්‍ර ලකුණු පටිපාටිය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් කරනු ලැබූ නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා එම විශ්ව විද්‍යාලය විසින් ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතාගේ එකඟත්වය ඇතිව විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා මෙම තීන්දුව ලබා දුන්නා.

2023 වසරේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදි උපාධියේ ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සෂින්ද්‍ය රණසිංහ නමැති ශිෂ්‍යාවගේ පියා වන ගල්ගමුවේ පදිංචි ආර්.ඒ. රොෂාන් රණසිංහ විසින් ඇය ලබාගත් ලකුණු සහ ඇගේ පිළිතුරු පත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා අදාල විශ්ව විද්‍යාලයේ තොරතුරු නිලධාරියා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

එම තොරතුරු ලබාදීම තුළින් විභාග ක්‍රමයේ පවතින රහස්‍ය භාවය සහ අඛණ්ඩතාවයට හානිකර නීතිමය පූර්වාදර්ශයක් ඇතිවනු ඇති බවත් ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අදාළ විශ්වවද්‍යාලය ප්‍රකාශ කර තිබුණා.

ඉන් අනතුරුව ඇගේ පියා විසින් එම විශ්වවිද්‍යාලයේ තීරණයට එරෙහිව තොරතුරු කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළා.

එම අභියාචනය සලකා බැලූ තොරතුරු කොමිසම ඉල්ලුම්කරුවන් විසින් ඉල්ලා සිටින තොරතුරු ලබාදෙන ලෙස විවෘත විශ්ව විද්‍යාලය වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

තොරතුරු කොමිසමේ එම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ මෙම තොරතුරු ඉල්ලා සිටින්නේ අදාළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂිකාවක් බවත් එය ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතු නැති බවත් සඳහන් කළා.

උසස් අධ්‍යාපන ආයතන වලට සැඟවී සිටීමට හැකියාවක් නැති බව පෙන්වා දුන්නි විනිසුරු මඩුල්ල ඔවුන්ගේ කටයුතු වල විනිවිද භාවය තිබිය යුතු බවත් තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව තොරතුරු කොමිසමේ තීන්දුවට මැදිහත්වීම් කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් ඒ අනුව විවෘත විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණා.