නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එබැවින් සැකකරුවන්ට දඬුවම් ලබාදීම ඔක්තොම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

පුද්ගලයින් පිරිසක් පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලු‍ වී කඳවුරු බැඳ ඒ අවට ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිළධාරින්ට ලද තොරතුරක් මත අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අවුරුදු 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන් පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගාල්ල, පානදුර සහ කුරුණෑගල ඇතුලු‍ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අදාල සැකකරුවන් මුහුණු පොත හරහා හඳුනාගෙන ඇති පිරිසක් බවයි.