පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේදී පොලිස් වෙඩි පහරකින් නව හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරියක මියයෑමේ ඛේදවාචකය සම්බන්ධයෙන් පූර්ණ සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. දැරියගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව එකිනෙකට පටහැනි වාර්තා රැසක් පළවීමත් සමඟ අගමැතිවරයා මෙම නිල ඉල්ලීම සිදු කර තිබේ.

තම පවුලේ සාමාජිකයන් සමඟ පකිස්ථානයේ නිවාඩුවක් ගත කරමින් සිටි 'හානියා අහමඩ්' නැමැති මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූයේ උතුරු චක්වාල් නගරයේදී සිදුවූ සන්නද්ධ මංකොල්ලකෑමක් අතරතුරදීය.

සිව්දෙනෙකුගෙන් යුත් මෙම පවුල කුලියට ගත් මෝටර් රථයකින් ඥාතියෙකුගේ නිවසක් බලා යමින් සිටියදී මෙම මංකොල්ලකරුවන්ට මුහුණ දී ඇති අතර, එහිදී එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයකින් දැරිය මියගොස් ඇත. ප්‍රහාරය හේතුවෙන් හානියාගේ පියා සහ සහෝදරයා ද තුවාල ලබා තිබේ.

පුද්ගල අනන්‍යතාවය වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදුවූ බව පකිස්ථාන පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ සන්නද්ධ මංකොල්ලකරුවන් විසින් මුලින්ම වෙඩි තැබූ බැවින් තමන් ඊට ප්‍රතිචාර දැක්වූ බවයි. කෙසේ වෙතත්, දැරියගේ පියා වන අදීල් අහමඩ් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් චෝදනා කරන්නේ මංකොල්ලකරුවන් දුටු සැනින් පොලිස් නිලධාරීන් මුලින්ම වෙඩි තැබූ බවයි. පොලිසිය එලෙස කලබල වී වෙඩි නොතැබුවේ නම් හෝ සොරකමේ පැමිණි පිරිස ලුහුබැඳ නොගියේ නම් තම දියණියගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බව පවසන පියා, දැනට පකිස්ථාන පොලිසිය පවත්වන පරීක්ෂණ පිළිබඳව තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව ද අවධාරණය කළේය.