Sunday, May 4, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර හතකට පසු එක්දින තරගයකදී ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම පරදවයි



තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 03ක ජයක් හිමිකර ගත්තා. 

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 275ක් රැස් කළා. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුගන්දිකා කුමාරි ලකුණු 44කට කඩුලු 03ක් බිඳ හෙලූ අතර නායක චමරි අතපත්තු ලකුණු 43කට කඩුලු 03ක් බිඳ හෙලුවා. 

ජයග්‍රාහී ලකුණු 276ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 01ක් තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 278ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 56ක් රැස් කළා. 

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දියානු කණ්ඩායම පරදා එක්දින තරගයක් ජයගනු ලැබුවේ වසර 07කට පසුව වීමද විශේෂත්වයක්. 
 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැවති තරග තුනෙන් තරග දෙකක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දීය කණ්ඩායම පැවති තරග තුනම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේයි.